www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මෙරට නාගරික, අර්ධ නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ ජන ජීවිත සජීවීකරණය කරමින් ඔවුන්ට ආරක්ෂිත සහ සුවපහසු දිවියක් උදාකරදීම අරමුණු කර ගනිමින් රජය විසින් සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් මේවනවිට ආරම්භ කර ඇත. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක මහල් නිවාස සංකීර්ණ 24 ක නවීකරණ කටයුතු පසුගිය කාලයේ ආරම්භ කෙරිණ. එම මහල් නිවාසයන්හි භෞතික නවීකරණයන්ට සමගාමීව විවිධ ගැටළු සමග එම නිවාසයන්හි දිවිගෙවන පදිංචිකරුවන්ගේ කායික, මානසික සුවපහසුව ඇතිකිරීම සඳහා සමාජ සජීවීකරණ වැඩසටහනක් ද ආරම්භ කෙරිණ.
මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස මෙම ‘Metro Uplift’ ජාතික වැඩසටහන අද දින (2026.03.31) නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නව, සාලමුල්ල, ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණ. මෙම ‘Metro Uplift’ සමාජ සුබසාධන ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළ ප්‍රතිසංවිධාන රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇත. කොලොන්නාව ලක්සඳ සෙවණේ නවීකරණ කටයුතු සඳහා මෙම වර්ෂයට රුපියල් ලක්ෂ 1,288.7 ක් වෙන්කොට ඇත.
මෙම නවීකරණ යටතේ හානි වූ විදුලි සෝපාන අලුත්වැඩියාව, අලුතින් විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක දෙකක් පිළිසකර කිරීම, ළමා උද්‍යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම, B සහ C ගොඩනැගිලිවල පොදු කවුළු, ආරක්ෂිත වැට අලුත්වැඩියාව සහ ගේට්ටු සවිකිරීම, A ගොඩනැගිල්ලේ කොරිඩෝ සදහා නව කාණු පද්ධතියක් ස්ථාපිත කර බාහිර බිත්ති පින්තාරු කිරීම, ප්‍රජා සවිබල ගැන්වීම වෙනුවෙන් සමාජ සජීවීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
” Metro Uplift ” ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින් ;
“වත්මන් රජය බලයට පත්වූ විගස මෙම මහල් නිවාසවල තත්ත්වය සොයා බලන්න අපි කටයුතු කලා. මේ තත්ත්වය සියැසින් දැක්කා. මේවා තිබුණේ ජීවත්විය හැකි තැන් ලෙස නොවෙයි. විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සාකච්ඡා කර නිලධාරීන් ඒකරාශී කරමින් තිරසර වැඩසටහනක් හදන්න ආරම්භ කලා. බිත්ති හයකට කොටුවෙලා තිබූ ජීවිත යළි ගොඩනැංවීමේ මෙහෙයුම ආරම්භ කලා. අද එය යතාර්ථයක් කරගන්න හැකිවෙලා තියෙනවා. රජය මේ නව වැඩපිළිවෙලින් කරන්නේ බිත්ති හයක් අළුත්වැඩියා කිරීමක් පමණක් නොවෙයි. එහි ජීවත්වන ඔබගේ දුවගේ, පුතාගේ අනාගතය ලස්සන කරන එකයි; ආරක්ෂිත තැනක් බවට පත්කරන එකයි.
ජනතාවට අලුත් දිවියක් ලබාදෙන්න මේ වැඩපිළිවෙල, යතාර්ථයක් කරන්න අපේ නිලධාරීන් පොත් 24 ක් මුද්‍රණය කර තිබෙනවා. නිලධාරීන් විදියට විශාල කැපවීමකින් මීට සම්බන්ධ වුණා. ඒ අධ්‍යයනවලට අනුව මේ වැඩපිළිවෙල ඇරඹුවා; පොත් ටික පුස්තකාලවලට යවන් නැතුව. පොත්වලින් නිර්දේශ කරපු දේවල් පිටුවෙන් පිටුව ඉටු කරනවා. එහෙම කරන්නෙ ඔබේ මුදල් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරගත්ත නිසා. අපේ ආණ්ඩුව වංචා, දූෂණ, හොරකම් නොකර, අදූෂිත දේශපාලන තන්ත්‍රයක් තුල මේ මුදල් ඉතිරි කරගත්තා. බදු මුදල්වලින් භාණ්ඩාගාරය පුරවලා ඒවායින් උපරිම සහන ලබාදෙනවා. එම මුදල් දුම් අල්ලන්න තියාගන්නේ නෑ.
මේ ජනතාවාදී වැඩසටහන ක්‍රියාවට නංවන්න දේශපාලන අධිකාරිය විදියට නිවැරදි තීරණ ගත්තා. නිලධාරි යාන්ත්‍රණය ශක්තිමක් කලා. ඒ ඒ විෂය ප්‍රාමාණික දැනුම ඇති නිලධාරීන් යොදවා ගත්තා. නාගරික සංවර්ධන අධිකාරියට අතීතයේ පැවති තත්ත්වය වෙනස් කරමින් එහි ව්‍යූගය ප්‍රතිසංවිධානය කලා. UDA DNA එක අපි වෙනස් කලා. ඉතිසාහසේ කිසිම රජයක් මහල් නිවාස පදිංචිකරුවන් වෙනුවෙන් මෙහෙම සාධනීය, ප්‍රායෝගික මැදිහත්වීමක් සිදුකර නෑ. මෙය අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. ඔබගේ දුක්ඛිත තත්ත්වය දුරු කරන්න රජය විදියට කටයුතු කරනවා. මෙම ප්‍රතිසංවිධාන කඩාකප්පල් කරන්න කිහිප දෙනෙකුට ඉඩදෙන්න බැහැ. මේවා පිටුපස සමහර ජාවාරම්කරුවන්ද ඉන්නවා. කුඩු, පාතාලයට කියනවා වහාම ඉවත්වෙන්න කියලා. ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් මේවා මැඩලන්න රජය සූදානම්. ඔබගේ දුවගේ, පුතාගේ අනාගතය වෙනුවෙන් ඔබත් බලය අතට ගන්න. තරුණ බලය, කාන්තා සංවිධානය, ප්‍රජා ශක්තිය මේ වැඩපිළිවෙලට අත්‍යවශ්‍යයි. රජය විදියට මේ පරිශ්‍රයට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා. ජනතා බදු මුදලින් ගොඩනැගුණු රාජ්‍ය සම්පත්වලට හානි කරන්න කිසිවෙකුටත් ඉඩදෙන්න ඉැහැ. අදින්පසු මේවායේ කෑලි ගැලවෙන්න බැහැ. මේ ව්‍යාපෘතිය සමග සියලුදෙනා අත්වැල් බැඳගෙන බිත්ති හයට සීමා වූ ජීවිත සුවපහසු කිරීමේ වැඩසටහනට දායක වනලෙස ඉල්ලා සිටිනවා.”
මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, එහි උපසභාපති සමන් සෙනෙවිරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර, එහි අධ්‍යක්ෂ ජංනරාල් දමිත් දිසානායක, ව්‍යාපෘකි අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ද මහල් නිවාස පදිංචිකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

