ඉන්දියාවෙන්  ලංකාවට ඩොලර් මිලියන 454ක සහන පැකේජයක් ආර්ථිකය ශක්තිමත් කිරිමට

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමේ උත්සාහයට සහාය වශයෙන් ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

එම සහය පිළිබඳව ඇය සිය අගය පළ කළේ ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයකදීය.

ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය නිමිත්තෙන් පැවති එම රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීමද, “Port of Call” ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරියට සහ මහ කොමසාරිස්වරයාට පිළිගැන්වීමද සිදු විය.

තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව තවදුරටත් සමීපව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ඉන්දියානු ආයෝජන හා සංචාරක ප්‍රවාහයන් වැඩිවීමද ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද ඇය පැවසුවාය.

ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ආර්ථික සංවර්ධනය, බලශක්තිය, සම්බන්ධතා, වෙළඳාම, ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ ප්‍රමුඛ හවුල්කරුවා බවද, දෙරටේ ජනතාවගේ හා කලාපයේ යහපත වෙනුවෙන් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

“පසුගිය වසර තුළ ඉන්දියා –  ශ්‍රී ලංකා  ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ශක්තිමත් බව අපි නැවත වරක් දැක්කා. විශේෂයෙන්  දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙ රටට වැඩම කරවීමත්,  ප්‍රදර්ශනය සඳහා පහසුකම් සැලසීමට ලබා දුන් සහයෝගයට අපි කෘතඥ වෙනවා. 

ඒ වගේම  දිට්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ විට, සාගර බන්ධු මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ අතර, අපගේ ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට දැක්වූ සහය  ඉතා විශිෂ්ටයි.”

1949දී පිහිටුවන ලද ශ්‍රී ලංකා – ඉන්දියානු සංගමය, දශක හතකට වැඩි කාලයක් පුරාවට  දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායකවී ඇත.

මෙම සංගමය සංස්කෘතික සහභාගීත්වය, සංවාදය සහ තිරසාර අන්තර්ක්‍රියා තුළින්,  අපගේ රජයන් අතර පමණක් නොවෙයි අපගේ ජනතාව අතර ද සබඳතාවලට සහාය වීමට කටයුතු කර තිබීමත් විශේෂත්වයකි. 

අදහස් දක්වමින් මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ,  ඉන්දු – ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙන බවය. 

“දෙරට අතර පවතින සබඳතාව හුදු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය ශක්තිමත්  සහ විශේෂ සබඳතාවක්.  ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රි  ලංකා⁣ව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්න කටයුතු කළා. ඒ වගේම  සන්නිවේදන සම්බන්ධතා (Connectivity) සහ පුද්ගල සබඳතා වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී තිබෙනවා. ඉන්දු – ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *