මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නැහැ:වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත!

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.
එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට වැඩි නැඹුරුවක් සහිත රටක්. ඒ වගේම මහවැලි අධිකාරිය ද කෘෂිකාර්මික කේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ අනුව තේ, රබර්, පොල් සහ සුළු අපනයන බෝග ආශ්‍රිතව පවතින කෘෂි නිෂ්පාදන අප අමාත්‍යාංශය යටතට අයත් වෙනවා.

මහවැලි සංවර්ධන අධිකාරිය සතුව අප රටේ විශාල වේලි 10ක් පවතිනවා. එමඟින් රටට අවශ්‍ය විදුලිය උත්පාදනය කිරීමට ද විශාල දායකත්වයක් ලබාදෙන බව පැවසිය යුතුයි. එම නිසා මෙම අමාත්‍යාංශ දෙක නිසියාකාරව භාවිත කළහොත් අපේ රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කර ගැනීමට පුළුවන්.

ඒ වෙනුවෙන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා. එමඟින් මේ රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට පහසු වී තිබෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙන බව ද කිව යුතුයි.
ඉඩම් ඔප්පු හිමිකම නොමැති ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. මේ යටතේ දැනටමත් සින්නක්කර ඔප්පු 25,000ක් පමණ ලබාදී අවසන් කර තිබෙනවා.

මේ සතිය අවසානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 6000කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව ද පැවසිය යුතුයි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *